සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

ජීවිතය දිහා ප්‍රවේසමෙන් බැලුවොත්, දෛනික ජිවිතයේ එදිනෙදා ක්‍රියාවලිය දිහා මොහොතකට නැවතී බැලුවොත් ඔබට පැහැදිලිව පෙනේවි එදිනෙදා ජිවිතයේ සැම දේම පාහේ අප කරන්නේ වෙන කිසිම හේතුවකට නොවෙයි ජිවිතයේ සතුටින් ඉන්නටයි කියල.

මූලික අරමුණ සතුටින් සිටීම වුවත් බොහෝ දෙනෙකු සිටින්නේ කනස්සලෙන්… එහෙම නේද? අපි පුරුද්දට කාව හෝ මුණ ගැහුණු ගමන් නැතිනම් දුරකථන ඇමතුමක් දුන් ගමන් අහන්නේ “ඉතින් කොහොමද?” කියල. මෙයට පුරුද්දක් ලෙස බොහෝ විට ලැබෙන පිළිතුර තමා “ඔහේ ඉන්නවා” කියන එක.  බොහෝ විට මෙම පිළිතුරෙත් ගැබ් වෙලා තියෙන්නේ කනස්සලු ස්වභාවයක්.

ඉතින් අද ඔබ සමඟ බෙදාගන්නට හිතුවේ ජිවිතයේ හැමදාටම ඉතාම වටිනා පුංචි සුත්‍රයක් ගැන. හැමදාම සතුටින් ජිවත් වන්නට පෙරුම් පුරන ඔබ හැමෝම මේ සූත්තරේ රහස හඳුනාගෙන මේ පුංචිම පුංචි අභ්‍යාසය කරන්නට ලෑස්ති නම් ගෙවෙන සෑම දවසක්ම අනිවාර්යයෙන්ම මහත් සතුටින් ගත කරන්නට හැකි වනවා. ඉතින් මොකද්ද මේ සූත්‍රය.

ජිවිතයේ බලාපොරොත්තු වෙනුවට  අගය කිරීම ආදේශ කරගන්න.

ඔව්! ඕක තමා සූත්‍රය. ඔබේ පුංචි හෝ සිත් තැවුලක් ගැන සිතා බලන්න. මෙයට හේතුව ඔබ ඊට විරුද්ධ දෙයක් බලාපොරොත්තු වීමයි. දරුවන් සමඟ කේන්ති යන්නේ අප බලාපොරොත්තු වන ආකාරයට දරුවා ක්‍රියා නොකිරීම නිසයි. සැමියා සමඟ සිත් තැවුල් වන්නේ අප බලාපොරොත්තු වන ආකාරයට ඔහු ක්‍රියා නොකිරීමයි. අන් සැම දෙයක්ම ගතහොත් මෙයට සමාන හේතු සොයාගන්න පුළුවන්.

ඉතින් කොහොමද අගය කිරීම තුලින් මෙය වෙනස් වන්නේ? නිදසුන් කිහිපයක් හරහා ඒ ගැන පහදිල්ලි කිරීමක් කරන්නම්.

නිදසුනක් ලෙස ඔබේ සැමියාගේ ක්‍රියා කලාපය නිසා ඔබ සිත් තැවුලෙන් නම්, මුලින්ම ඔබට සැමියෙකු සිටීම අගය කරන්න. සැමියෙකු නොමැති, පවුලක අත්දැකීමක් නොමැති බොහෝ දෙනෙක් ඔබ සිටිනා ලෝකය ලබන්නට සිහින මවනවා නොවේද? ඔබේ සැමියා තුල ඇති ඔබ කැමති ගති පැවතුම් ගැන ආවර්ජනය කරන්න. ඔබට සැමියෙකු සිටීම ගැනත්, ඔහුගේ ක්‍රියා කලාපය තුලින් ඔබට දායාද වන ඉවසීම, තේරුම් ගැනීම සහ ශක්තිමත් බව වෙනුවෙන් ඔබ අදහන දෙවියන්ට හෝ විශ්ව ශක්තියට ස්තුතිවන්ත වන්න.

මෙම ක්‍රියාදාමය ඔබගේ අනෙකුත් සිත් තැවුල් වලටද ආදේශ කරගන්නට පුළුවන්.

මෙයින් ඔබගේ ගැටලුව නිරාකරණය නොවන්නට පුළුවන්. නමුත් එම ගෙටලුව දිහා වෙනස්ම කෝණයකින් බලන්නට ඔබට හැකියාව ලැබෙනවා. හඬා වැටෙමින් මැසිවිලි නගන්නෙකු වනවා වෙනුවට ඔබ සිටියාට වඩා උසස් තැනක සිට ඔබේ ගැටලුව දකින්නට හුරු වනවා.

සමහර විට ඔබ ගැටළුවක් යැයි සිතු දෙය ආශීර්වාදයක් බවද තේරුම් ගන්නට හැකි වන අවස්ථා තිබෙනවා. ඔබ සතුටින් ජිවත් වන පුද්ගලයෙකු බවට පත් වනවා. ඔබ වටා සිටින්නන් පවා ඔබ මැසිවිලි නගන්නෙකු වෙනුවට ශ්‍රියාවන්ත පුද්ගලයෙකු සේ දකින්නට පටන් ගන්නවා.

පුංචි පේළියක් වුවත් මෙය ගැඹුරු අර්ථයක් සහිත අභ්‍යාසයක්. ජීවිතය ආශීර්වාදයක් සේ දකින්නට හුරු වූ විට ඔබේ සතුට ඔබේ විශාලම ආභරණය වනවා. මේ නිසා සතුට අනාගතයේ යම් දවසක අත් දකින්නට ඇති දෙයක් නොවේ.. ඔබ තුළම ඇති සැඟවුණු පහනක්. අදම එහි තිර හැර බබලන්නට මෙන්ම එලිය දෙන්නට පටන් ගන්න.

Advertisements

ස්වතන්ත්‍ර ගී එකතුව

ස්වතන්ත්‍ර ගී තුළින් නිලූෆ පෙරේරා මහත්මිය සැම විටම උත්සාහ කරන්නේ ගීතයේ පද මාලාව, තනුව ඇතුළු ගායනය තුලින් අසන්නන්ගේ සිත් තුළට නැවුම් අරුතක්, සුභවාදී පණිවුඩයක් නැතහොත් ජීවිතයට එළියක් එක් කරන්නටයි.

via ගී එකතුව

අනේ අපොයි තාම නැද්ද?

පාරේ තොටේ, නෑ හිතවතුන් අතර කවුරුත් අපෙන් අහනවා විතරක් නෙවෙයි, අපිත් අන් අයගෙන් අහන්නටපෙළඹෙන කාරනාවක් ගැන තමා අද ලියන්න හිතුවේ.

මගේ පුද්ගලික අත්දැකීම ගතහොත්, ජිවිතයේ මතක ඇති කාලයේ පටන් පාරේ තොටේ වේවා, නෑ හිතවතුන් වේවා මගෙන් කොයි කවුරුත් නිතර ඇසුවේ මට ඇති දේට වඩා නැති දේ ගැනයි.

පුංචි කාලයේ ගොඩක් කෙසඟ සිරුරක් තිබූ මට උදේ නිවසින් එලියට බැසගත් වේලේ පටන් අසන්නට ලැබුනේ “හපොයි!!! ඇයි ඔයා මේ තරම් කෙට්ටු?” කියාය.  ඔවුන්ගේ පැනයට දුන් පිළිතුරු මට මතක නැතත්, මේ පැනයට මුහුණ දීම දෛනික ජිවිතයේ කොටසක් බවට පත් වනු මතකය.

කාලය ගෙවී ගොස් විභාග වලට මුහුණ දෙන කාලය ලං වත්ම, ඉහත පැනයට තවත් දෛනික පැන සංග්‍රහයක් එක් වන්නට වූයේ “මොනවද ඔයාගේ ප්‍රතිඵල?” හා ඒ ආශ්‍රිත අධ්‍යාපන කටයුතු සම්බන්ධ ප්‍රශ්ණ වැලකි.

මේ අතරතුර ජිවිතයේ නොයෙක් ජයග්‍රහණද විඳි මුත්, ඒවා ඇසුණු, දුටු කෙනෙක් නොමැති තරම්ය. මගේ සංගීත ජිවිතයේ එක් සන්ධිස්ථානයක් වූයේ පාසැල් සමයේ සිදුකල නිර්මාණ කිහිපයක් ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය කිරීමට තෝරාගැනීමයි.

අසල්වාසීන් නෑ මිතුරන් ඉහත පැන අසන්නට මා නැවැත්වූ විට අහවල් දවසේ ගුවන්විදුලිය අසන්නට මා ඔවුන්ට අරාධනා කලෙමි… එහෙත් එය ඇසූ බවක් දැනගන්නට ලැබුනේ අල්ප පිරිසකගෙන් පමණි.

නව යොවුන් වියට පිය මනිද්දී සිරුරේ කැහුටු ගතියෙන් මිදී පිරිපුන් වන්නට පටන් ගත්තද, බැරි වෙලා හෝ දැන් කෙට්ටු නැතැයි කියන්නට නම් කිසිවෙක් ඉදිරිපත් නොවීය.

අනේ අපොයි බඳින කෙනෙක් තාම නැද්ද?

නව යොවුන් වියට එළඹෙත්ම විවාහයට සුදුසු සහකරුවෙක් තාම නැද්ද යන පානයෙන් මාගේ දෙකන් පමණක් නොව මාගේ දෙමව්පියන්ගේද දෙකන් පිරි ගොස් තිබිණි. එකම පුද්ගලයා විසින් දිනපතා මෙය ඇසීමද  විටෙක අපව සිනහ ගැන්වීය.

අනේ අපොයි බබාලා එහෙම තාම නැද්ද?

විවාපත් වී මාස කිහිපයක් ඉකුත් වන්නට මත්තෙන්ම ඇරඹෙන්නේ දරු මල්ලන් ගෙන ඒම ගැන ප්‍රශ්නයයි. මෙය ජීව්තයේ ඉතාම පුද්ගලික ක්‍රියාවලියක් වම්බන්ධ ගැටළුවක් හෙයින් මට අමතරව කටට එන උත්තර ගිල දමන තරුණ තරුණියන් එමට බව ඔබත් පිලිගනීවි.

මින් නොනැවතී එක් දරුවෙක් සිටින මාපිය යුවලකගෙන් තොරතෝංචියක් නැතිව “එක්කෙනෙක් නම් මදි..” “අනේ පවු මේ තනි දරුවා” යන්න සතිපතා සිහිපත් කරවන පිරිසකින් සමාජය පිරි ඉතිරී ඇත.

අනේ කෙට්ටු වෙන්න අදහසක් තාම නැද්ද?

අප බහුතරයක් දෙනා උදී හවා හසු වන මෙම පැනය ගැන නොලියාම බැහැ. ඇතැමුන් දුටු තැන අමතන්නේ බඩට තට්ටුවක් දමමින් කියන්නට  අමතක වුවත් ඔන්න මම දැක්කා කියන්නා සේයි. වඩාත්ම හාස්‍යජනක කාරනාව වන්නේ බඩ ගැන මහතා ගැන අවලාද කියවන පුද්ගලයා අප මෙන්ති දස ගුණයක්ය මහත කෙනෙක් වූ විටයි.

ඉතින් මේ ලිපිය ලියන්නට අදහස් කලේ අප අතර බහුතරයක් මව්වරුන් පණක් නොව, පියවරුන් හා තරුණ දූ පුතුන්ද මෙම අප්‍රසන්න අත්දැකීමට ගොදුරු වන බැවිනි.

ඔබත් මේ  ‘තාම නැද්ද’ ඝර්ජනයට ගොදුරු වූවෙක් නම්  එම අත්දැකීමේ ඇති අප්‍රසන්නතාව ගැන ඔබ දන්නවා නොඅනුමානයි. අද  පටන් ඔබේ මුඛයෙන් එවන් අප්‍රසන්න ප්‍රශ්ණ හෝ විවේචන කිසි විටෙක පිට නොකරන්නට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.

තවෙකෙකුගේ දිස් වන කුමක් හෝ සුභවාදී දෙයක් දකින්න. ඔවුන්ගේ ඇඳුම, සිනහව, නිර්මාණයක් වැනි කුමක් හෝ දෙයක් වන්නට පුළුවන්. ඒ බව ඔවුනට පවසන්න. ඔබට කිසිඳු හොඳක් නොපෙනේ නම්, කිසිවක් නොකියා ඉන්න. එය අප්‍රසන්න යමක් කියනවාට වඩා ප්‍රසන්න බැවිනි.

පුංචි අදියරකින් පටන් ගනිමු. අපි ලෝකය වෙනස් කරමු.

About

අඳුරට එළියක් තුළින් ඔබේ දිවියට ආලෝකයක්!

අඳුරට එළියක් තුළින් අඩවියට පිවිසෙන සෑම පාඨකයෙකුගේම ජිවිතයටේ කුමන හෝ ආකාරයක ආලෝකයක් නැතහොත් එළියක්  එක් කිරීම මගේ ඒකායන පැතුමයි.

මෙම අඩවියට ඔබත් පිවිසුනේ ජිවිතයේ බලාපොරොත්තු කඩා වැටුණු මොහොතක නම්, ඒ කඩා වැටුණු සුන්බුන් ඔබේ ඉලක්කය වෙත ලඟා වන්නට තැනුණු පියගැටයක් සේ සලකන්න. ඒ මත නැගී සිටින්න. මිහිමත වෙසෙනා එකම ‘ඔබ’ ඔබ පමණයි. එය කෙතරම් සුවිශේෂීදැයි දෑස් වසා මෙනෙහි කර බලන්න.

වෙනෙකෙකු නොව, ඔබ ඔබම වන්න. මේ අඩවියේ සටහන්, වීඩියෝ නිර්මාණ මෙන්ම මා නිර්මාණය කල ගී පද වැල්ද ඔබේ ජීවිතයට එළියක් එක් කරන්නට සැකසූ ඒවාමය.

ඔබ මේවා රස වින්දේ නම්, ඒ නිර්මාණ තවත් අය හා බෙදාගෙන එම ආලෝකය පතුරුවන්න. අඳුරට එළියක් වන්නට ඔබටත් අරාධනා!

මා විසින් සිදු කරනු ලබන උපදේශණ සේවා, වැඩමුළු මෙන්ම, සංගීත හා පද නිර්මාණ ලබා ගැනීමට කැමති නම් මෙම අඩවිය ඔස්සේ හෝ මාගේ මුල් අඩවිය වන www.Gr8impressions.com  ඔස්සේ හෝ gr8impressions@gmail.com හරහා හෝ මා හා සම්බන්ධ විය හැක.

නිලූෆ පෙරේරා